Saturday, September 28, 2013

94a. PANIC ATTACK! NOW ON HEYDUDE:





PANIC ATTACK!


30th Aug 2013 2200Hrs


The flight EY0279 (call sign ETD279) has just disappeared from the flight radar screen.  All of us had watched this AIRBUS A320 taking off at 2025hrs from Malé International Airport and climbing at 2000fpm on the live flight radar on the laptop screen. Once the aircraft gained 40000ft, we disconnected the data connection and went to have dinner as this was a 04 hour 15 minute flight to Abu Dhabi which is 3025 kilometers away.



94. Panic Attack! සිංහලෙන්!





PANIC ATTACK!


2013 අගෝස්තු 30: පැය2200


EY0279 (සංඥා නාමETD279) ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත. මෙම Airbus A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියට අඩි 2000ක නැග්මකින්  ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු. යානය අඩි 40000ට ලඟා වූ පසු,  අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කර, රාත්‍රී ආහාරය ගැනීමට ගියේ, කිලෝමීටර් 3025ක් දුරින් පිහිටි අබුඩාබි ගුවන් තො‍ටුපළ දක්වා වූ පියසැරියට පැය හතරකුත් විනාඩි පහළොවක් ගතවන  නිසාය.අප මේ දිනවල කරන අයුරින්, 'Burn Notice' ක්‍රියාදාම කථා මාලාවේ තවත් කොටසක් නරඹමින් රාත්‍රී ආහාරය ගත් අප, ඒ නිමවා ගුවන් යානයේ ගමන නැරඹීමට පරිගණකය වෙත නැවත පැමිණියෙමු. නින්දෙන් අවදිකරවාගත් පරිගණකයට අන්තර්ජාලය නැවත සම්බන්ධ කර පි‍ටුව යාවත් කාල කලෙමි.

පුදුමයකි! ගුවන් යානය අගිය අතක් නැත!

අනතුරුව මා www.flightradar24.com වෙබ් අඩවියේ සෙවුම් තීරුවට ETD279 ඇතුලත් කර Enter යතුර එබුවද  ප්‍රතිඵලය පෙර සේම විය. ඉන් පසු මා කලේ, මාලේ සිට අබුඩාබි දක්වා ගුවන් මාර්ගය විශාලනය කොට (zoom in)  එම ම‍ඟෙහි වූ යන එන සියළුම යානා එකින් එක පරීක්ෂා කිරීමයි. එවිටද ප්‍රතිඵලය පෙර සේම විය. මේ රාත්‍රියේ, මේ මොහොතේ ගුවන් ගතවී තිබූ අට දහස් ගණනක් වූ ගුවන් යානා ප්‍රමාණය නිසාම, මම ඊ ලඟ පියවර ලෙස සෙවුම් පෙරණය යොදාගෙන Etihad යානා පමණක් දර්ශණය වන ආකාරයට තිරය සකසා, එක් එක් ගුවන් යානය නැවතත් පරීක්ෂා කලෙමි. 

ගුවන් යානය අතුරුදහන් වී ඇත.


කලබළ වූ බවක් ඉරියව් වලින් නොපෙන්වීමට මා සියලු ප්‍රයත්නයන් යෙදුවද, පවුලේ අනිත් සාමාජිකයන් දෙදෙනා නොඉවසිලිමත් වී ඇති බව මට අවබෝධවෙමින් පැවතුනි. Etihad ගුවන් සේවා අඩවියට ගිය මා ගුවන් යානය සෙවීමට උත්සාහ කලෙමි.

මෙම ගුවන් යානයේ යාවත් කාල කිරීම් නොමැත.

ඉන්පසු මා ගූගල් ආධාරයෙන් flightradar24.com ට සමාන වෙනත් සජීව ගුවන් ගමන් රේඩාර් වැඩසටහන් සොයා ඒවායින් පරීක්ෂා කර බැලුවද, මීට පැය එකහමාරකට පෙර අපගේ දියණිය  ‍රැගෙන ගුවන් ගතවූ EY0279 යානයේ සළකුණක් හෝ සොයාගත නොහැකි විය..  

සජීවී ප්‍රවෘත්ති චැනලයක Breaking News නැරඹීමට උපන් හදිසි ආශාව මා යටපත් කරගත්තේ බිරිඳත්, පුතාත් කලබළ විය හැකි නිසාය. වරක් ඉශාර ගුණවර්ධන මග පෙන්වූ, ගුවන් අනතුරු ගැන වහාම දැනගත හැකි වෙබ් අඩවියද මම බලෙන්ම අමතක කර දැමීමට උත්සාහ කලෙමි.

නිවසේ සියළු දෙනාම තම තමාගේ හැඟීම් යටපත් කරගෙන සිටින සෙයක්  පෙනුනි. මේ ආකාරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වැඩ සටහන් වල ඇති විශ්වාසනීය භාවය ගැන සැක පළකල අප, නින්දට යාමට සූදානම් වීමු.

ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළෙමින් කල් ගත කල මා අසලකට වත් නිදි දෙව් දුව නොපැමිණියාය. මෙම ගුවන් ම‍ඟේ වැඩිම කොටස වැටී ඇත්තේ මුහුද මතිනි. ඒ මදිවාට, මේ රාත්‍රී ගුවන් ගමනකි. මා මෙසේ සුව පහසුව ඇඳක වැතිර සිටියදී,  මගේ දියණිය මේ මොහොතේද අප ගැන සිතමින්, ඝණ අඳුරේ, කුණා‍ටු මුහුදක, රළ හා පොර බදමින්, ගුවන් යානයේ සුන් බුන් අතර පිහිණමින් නොගිලී සිටීමට සටන් කරමින් සිටින්නේ  දැයි දන්නේ දෙවියන් පමණි. ඒ ඇයි දිවි ‍රැකගෙන සිටියොත්ය. මිනී කන මෝරු! ඇය අවට මුහුදේ පාවෙන  වහා ගිණිගන්නා සුළු ජෙට් ඉන්ධන ටොන් ගණනක්!

ජීවිතාරක්ෂක කබා ඇඳ ගැනීමටවත්  ඔවුන්ට කල් තියෙන්නට ඇත්ද? නැතිනම් මෙය ඒ තරම් ක්ෂණිකව සිදුවුනා වත්ද? ගුවන් අනතුරුවලින් සැලකියයුතු ප්‍රමාණයකට හේතු වන්නේ අයහපත් කාළගුණයයි. අනික, මිනිස් අතපසු වීම්. මා නරඹා ඇති Air Crash Investigations වැඩ සටහන් වල සියලුම කොටස් මාගේ ඇස් ඉදිරිපිට නැවතත් දර්ශනය වන්නට විය. වරක් එක් ගුවන් යානයක් බිම වැදී අණතුරට පත්වූයේ නඩත්තු කටයුතු වලදී ඇල්ටිටියුඩ් සෙන්සරය මත ඇලවූ  මාස්කිං ටේප් කැබැල්ලක් ඉවත් කිරීමට අමතක වීම නිසාය. තවත් වරෙක, නියමුවා ලීටර් සහ ගැලුම් පටලවා ගැනීම නිසා ගුවනේදී ඉන්ධන අවසන් වූ යානයක් අනතුරට ලක්විය. නියමාකාරයෙන් නොවැසුනු දොරවල්,  නැවත අලුත්වැඩියා කල පැරණි අමතර කොටස්, ලෝහවල සියුම් ඉරි තැලීම්,  සිරවී අක්‍රීය වුනු යානාවේ පාලක මතුපිටවල්, වායු සමීකරණ කුටීරවල ඇතිවූ හදිසි ගිණි ජාලාවල්! දෙවියනි... වැරදී යා හැකි දේ කොපමණ නම් ඇත්ද!!



ඇය පිටත් වී යාමට මඳකට කලින්, ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ අන්තිම පි‍ටුවේ ඇතුල් පැත්තේ, 'මරණය හෝ හදිසි අනතුරක් සිදුවුවහොත් දැනුම් දෙන්න' යන කොටස මගේ අත් අකුරෙන් මගේ විස්තර පිරවීමට හිත දුන්නේදෛවයේ සරදමක්  නිසාද?

මගේම දියණිය දිවි ‍රැක ගැනීමට සටන් කරද්දී ගෙදරට වී සුරක්ෂිතව, සුව පහසුව නිදා ගැනීමට උත්සාහ දැරීමද බලවත් වරද කාරී හැඟීමක් මතුල ඇති කලේය.

නැති නම්, යම් දෝශයක් සොයා ගත් නිසා. ඔවුන් ආපසු හරවාගෙන පැමිණ මාලේ හදිසි ගොඩ බැසීමක්වත් කලාද?

මේ සියල්ලේම ආරම්භය වූයේ ඇය ගිම්හාන නිවාඩුවට රුසියාවේ සිට මාල දිවයින කරා පැමිණීමත් සමඟය.

  
2013 ජූලි 05,  සිකුරාදා: පැය1450:

මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලේ පැමිණීමේ පර්යන්තයේ LCD තිරයන් දෙස මා නෙත් යොමාගෙන සිටියෙමි. ඇය ‍රැගත් අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවයට අයත් EY278 යානය ගොඩබැසීමට නියමිතව ඇත්තේ පැය 1455ටය. ඒ සඳහා තව ඇත්තේ විනාඩි පහක කාලයකි. අහස කලු වලාවන්ගෙන් බරව පැවති අතර කාළගුණය ඉතා අයහපත් විය. එක් වරම ධාරානිපාත වර්ශාවක් ඇද  හැලුනි.

LCD තිරයේ වේලාව 1455 ලෙස සටහන්විය. ගුවන් යානය ප්‍රමාදය. මම නොඉවසිලිමත් වීමි.

නිකරුනේ කලබලවීම මගේ සහජ දුබලතාවයකි.




මට ඉමහත් සහනයක් ගෙන දෙමින් 1459ට ගුවන් යානය ගොඩ බෑ බව (LANDED) තිරයේ සටහන් විය.

රේගු කටයුතු සඳහා සෑහෙන වේලාවක් ගත කල ඇය අවසානයේදී ස්වංක්‍රීය දොර තුලින්  ගමන් මලු ට්‍රොලියක්ද සමඟ  මතුවූවාය.



මොස්කව් සිට අබුඩාබි දක්වා පියාසර කර තිබූ ඇය,  අබුඩාබි සිට මෙහි පැමිණීමට පෙර එම ගුවන් තො‍ටුපළේ පැය ගණනාවක් ගතකර තිබුණි.

අප ට්‍රොලියත් තල්ලු කරගෙන ගුවන් තො‍ටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී හදිසියේ ලැබුණු SMS පණිවිඩය කියවීමට ඇය මඳකට නතර වූවාය. එය ඇගේ මිතුරන්ගෙනි. "We saw you landing." පණිවිඩයෙන් කියැවිනි. ඇගේ මිතුරන් ෆ්ලයිට් රේඩාර් ආධාරයෙන් ඇයගේ යානය ගොඩ බසිනු නරඹා තිබුනි.

ඉන් දින කිහිපයකට පසු ඇයත් සමඟ අප සේවය කරන දූපතට පැමිණියේ පැය 13ක මුහුදු ගමණකින් අනතුරුවය.

නිවාඩුවේ ගතවූයේ සිතාගත් නොහැකි වේගයෙනි.

දින සති අප අතැඟිලි තුලින් රිංගා ගියේ සියළුම යහපත්දේද අවසන් වේ යන කියමන සැබෑ කරවමිනි. අවසනදී ඇය ආපසු යා යුතු දිනයද ලංවිය.

2013 අගෝස්තු 30:

ඇගේ ආපසු ගමන සඳහා මෙවර ආසන්න දූපතක පිහිටි අභ්‍යන්තර ගුවන් තො‍ටුපළට ඇය හැරලීම සඳනා අප අධිවේගී බෝට්‍ටුවක් කුළියට ගතිමු. එවිට ඇයට පැය දහතුනක මුහුදු ගමන වෙනුවට පැයක කාලයකින් මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළට ලඟාවිය හැකිය. අභ්‍යන්තර  ගුවන් සේවාවක් මගින් ක්‍රියාත්මක වන මෙම de Havilland Dash 8 වර්ගයේ  කුඩා මගී යානාව නිල් අහසේ නොපෙනී යන තෙක් බලා සිටි අප තිදෙනා ආපසු බෝට්‍ටුව වෙත පැමිණියේ බරවූ හදවත් වලිනි.

රළු මුහුද කලඹාගෙන රල මතින් පනිමින් ගමන් කල අධිවේගී බෝට්‍ටුව අපගේ දූපතට ලඟාවීමෙන් අනතුරුව, කුළී රියකින් නිවහන බලා යද්දී, දුරකථනයෙන් කතාකල දියණිය ඇය මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ලඟා වූ බව කීවාය. නිවී සැනසිල්ලේ, අබුඩාබි බලා ය
යානයට යා හැකි ලෙසත්, අන්තිම මොහොතේ අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාද වීමෙන් හෝ අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු මඟ හැරීම පිණිසත්, ඇය අවශ්‍ය වේලාවට වඩා පැය කිහිපයක් කලින් එහි ලඟාවීමට කැමති වූවාය.

රාත්‍රියේ ගමන් කරන EY 0279 දරණ යානයෙන් අබුඩාබි බලා ගමන් කරන ඇය,  අබුඩාබි සිට මොස්කව් 'දොමොදෙදෝවෝ' ගුවන් තො‍ටුපළ කරා ගමන් කරන EY0069 යානය පැමිණෙන තෙක් පැය ගණනාවක් එම ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටීමට නියමිතව තිබුණි.

මෙම එයාබස් A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියටඅඩි 2000ක නැග්මකින්  ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු.

අතුරුදහන් වී ඇත්තේ මාලේ සිට අබුඩාබි දක්වා ගමන් කල මෙම ගුවන් යානයෛ මෙම ගුවන් යානයයි.



2013 අගෝස්තු 30: හිමිදිරි උදෑසන: 

නින්දත් නොනින්දත් අතර පාවෙමින් සිටි මා හදිසියේම පාන්දර හතරට අවදිවී ඉද්ද ගැසුවාක්මෙන් ඇඳේ ඉඳගතිමි. වහාම ඇඳ අද්දර මිටි ස්ටූලය මතවූ ලැප්ටොප් පරිගණකය පණගැන්වූ මා සියල්ලටම පෙර Yahoo Mail විවෘත කලෙමි. ඊට කලින් මතුවූ යාහූ මෙසෙන්ජර් දැනුම් දීමෙන් කියැවුනේ නව ලිපියක් ලැබී ඇති වගයි. ලිපිය තිරයේ මතුවන තෙක්   නොඉවසිල්ලකින් පසු වූ මම "අනේ ඒ මේල් එක එයාගෙන් වෙයං!" යි මැතුරුවෙමි.

ඔව්. ඒ ලිපිය ඇයගෙනි.



"Arrived safely in Abu Dhabi:


(අබුඩාබි වලට නිරුපද්‍රිතව ලඟා වුනා.)

got the food coupon too. got a sheet too.now found a nice place to stay.took everything from the flight. didn't leave anything behind angels. going to set many alarms don't worry. i will send a message when i go to Moscow. dont worry ok. will send another mail  if net works before i go. gave rice in  the flight.  ate and  very full now. brought the biscuits and things in the bag.



dont worry and jump up. im fine ok


මට දැනුන සහනය කොතරම්ද යත් මම ප්‍රීතියෙන් උඩ පැන්නෙමි.  වහාම බිරිඳවත් පුතාවත් නින්දෙන් අවදි කල මා සුභාරංචිය ඔවුන්ට පැවසුවෙමි. ඇත්තෙන්ම නිදා සිටින කෙනෙකු අවදි කර යහපත් ආරංචියක් පවසන්නට හැකි වීම ඉතාම සුන්දර අත්දැකීමකි. රාත්‍රියේ (හෝ උදෑසන) ඉතිරිය අප සිතේ සැනසුමෙන්, ප්‍රීතියෙන් ඉපිළෙමින්  නිදා ගතිමු.

  2013 අගෝස්තු 30: පැය0700:


උදෑසන, ඇය මොස්කව් ගුවන් යානය පැමිණෙන තෙක් අබුඩාබි ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටිනා අතරතුර මම නැවතත් ෆ්ලයිට් රේඩාර් වැඩසටහන වඩා හොඳින් ගවේශනය කලෙමි. පෙරදා රාත්‍රියේ මා නොදු‍ටුවත්, ගුවන් ගතවී ඇති යානා ලැයිස්තුව කියවද්දී ඒවායින් සැලකියයුතු ප්‍රමාණයක් ඉදිරියෙන් missing (අතුරුදහන් වී ඇත) යනුවෙන් සඳහන් වී ඇති බව දක්නට ලැබිණි. මෙම වැඩ සටහනේ ගුවන් යානාවක් ඉදිරියෙන් missing යනුවෙන් සඳහන් වීම කලබල නොවිය යුතු සාමාන්‍ය දෙයකි


පැය 0845ට, ඈ පැය පහකුත් විනාඩි 25ක් ගතවන, කිලෝමීටර් 3707 ක දුරකින් පිහිටි මොස්කව්  දක්වා ගමනාරම්භ කලාය. තිරය විශාලනය කල අප (zoom in)ඇය ‍රැගත් යානය  ධාවන පථ අංක2121න් ගුවනට නැගෙනු බලා සිටියෙමු. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූවද පෙර මෙන්  බියවිය යුතු නැති බව අවබෝධ කරගත් අප, යානය සාමාන්‍ය පියාසර උසට නැග පොළොවට සමාන්තරව ගමන් අරඹන තෙක් බලා සිට, එදිනෙදා සාමාන්‍ය වැඩ පළවල නිරත වූයෙමු. .











පැය 1400ට අප නැවතත් EY0069 යානයේ  ගමන් මග පරීක්ෂා කල විට එය මොස්කව්හි දොමොදෙදෝවෝ ගුවන් තො‍ටුපළ වෙත ළඟාවෙමින් පැවතුනි.ධාවන පථය මතට  යානය පතිතවූ යානය වේගය අඩු කරත්ම මගේ දුරකථනයට ලැබුනු SMS පණිවිඩයකි.

“Angels, landed in Moscow just now. Still in the aircraft. Taking all the hand luggage. Don’t worry."


We stopped worrying.   

The eagle has landed.


වරක් මගේ පුතාගේ ෆේස්බුක් පි‍ටුවේ වූ මේ සටහන මගේ සිතට  නැගුනේ නිරායාසයෙනි.

PS: This is not a story about aviation, 
but parenting.

ප ලි: බැලූ බැල්මට මේ ගුවන් ගමන් ගැන කතාවක් සේ පෙනුනද, මේ සැබැවින්ම දෙමාපිය සෙනෙහස පිළිබඳව වූ කතාවකි.
 
Originally published @ HeyDude in English Language. 
 Simulblogged @ මට හිතෙන හැටි for WordPress Lovers.